
කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියානු පාර්ලිමේන්තු පැසසුම්
කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් වටිනා සහ ප්‍රශංසනීය බව කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් මහතා පවසයි. එම දායකත්වය පිළිබඳ ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බවද ඔහු සඳහන් කර ඇත.
මෙම අදහස් ඔහු පසුගියදා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ පැවැති හමුවකදී ප්‍රකාශ කර තිබේ.
එහිදී, කොරියානු ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් කොරියානු රජයට සිය ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සතුව ඉතා හොඳ පුහුණු සහ කාර්යක්ෂම ශ්‍රමික බලකායක් පවතින බවද අවධාරණය කළේය.
ඒ අනුව, කොරියානු ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම මඟින් එම ශ්‍රමිකයින්ගේ දායකත්වය පහසුවෙන් ලබාගත හැකි අතර, ශ්‍රී ලාංකික ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය වැනි වෙළඳපොළ වෙත නිකුත් කිරීමටද හැකියාව පවතින බව කොරියානු නියෝජිත පිරිසගේ අවධානයට යොමු කරන ලදී.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත් දුෂ්කර කාලයක් කොරියාවද අත්විඳ ඇති බවත්, එම අත්දැකීම් හේතුවෙන් ශ්‍රී ලංකාවටද ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර දියුණු රටක් බවට පත්වීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ලී හැක් යංග් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම හමුවේදී, දෙරටටම බලපාන වීසා ගැටලු විසඳා ගැනීම, වසර 50කට අධික ශ්‍රී ලංකා–කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.



