ප්‍රධාන පුවත්

මින් පසු බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය තහනම්

ඉදිරියේදී පැවැත්වෙන බිග් මැච් ඇතුළු පාසල් ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන සියලුම වැඩසටහන්වලදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම හා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල නියෝජනය කරමින් හෝ පාසලේ ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන ඕනෑම වැඩසටහනක් පාසල් උත්සවයක් ලෙස සැලකෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා සඳහන් කළේය.

‘රටම එකට’ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව එවැනි වැඩසටහන්වලදී මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන්නේ නම්, එම උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරා ඇති බව සඳහන්ය.

බිග් මැච්වල මත්ද්‍රව්‍ය භාවිතය ගැන දෙමාපියන්ගෙන් චෝදනා

ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2026/10 දරන චක්‍රලේඛය මගින් පාසල නියෝජනය කරන සහ පාසලේ ලාංඡනය භාවිත කරන වැඩසටහන්වලදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිත කිරීම තහනම් කර ඇති බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම අදාළ නීති ක්‍රියාත්මක වන්නේද යන්න දැඩි ලෙස අධීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

““විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා. ප්‍රධාන පාසල්වල ක්‍රියාත්මක වන මහ ක්‍රිකට් ගැටුම්වලදී දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුණා කියලා දෙමාපියන්ගෙන් චෝදනා තියෙනවා. ඒ නිසා අපි නිකුත් කරපු 2026/10 චක්‍රලේඛය මගින් පාසල නියෝජනය කරන, ලාංඡනය භාවිත කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. එය දැඩිව අධීක්ෂණය කෙරෙනවා. පාසලේ ලාංඡනය භාවිත කරමින් පවත්වන උත්සවය පාසලේ උත්සවයක්. එහෙම උත්වසයක දී කිසිදු ආකාරයක මත්වීමේ ද්‍රව්‍ය භාවිත නොකළ යුතුයි. ඒ චක්‍රලේඛය අනුව එම අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්තුමාට බලය තිබෙනවා, එම උත්සවය තහනම් කිරීමට.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button