ප්‍රධාන පුවත්

විදුලි වෘත්තීය සමිති වර්ජනය මධ්‍යයේ කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටේ

විදුලි වෘත්තීය සමිති විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය මධ්‍යයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ 9, කොළඹ 14 ඇතුළු ප්‍රදේශ කිහිපයකට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට විදුලිය අත්හිටුවී ඇති අතර, පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත විය හැකි බව ද සඳහන් වේ.

ලංකා විදුලි වෘත්තීය සමිති පවසන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ස්ථාපිත කරන නව ආයතන වෙත සේවකයින් අනුයෝජනය කිරීමේදී නිසි පත්වීම් ලිපි ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මෙම වැඩවර්ජනය ඊයේ (09) සවස 3.00ට ආරම්භ වූ අතර එය පැය 24ක කාලයක් පුරා ක්‍රියාත්මක කරන බවද වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, ඉදිරි දිනවලදී තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබෙනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවනු ඇති බවයි.

කෙසේවෙතත්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර නව සමාගම් යටතට පත් කිරීමෙන් සේවකයින්ගේ අයිතිවාසිකම් හෝ වරප්‍රසාද සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවන්නේ නැති බව ලංකා විදුලිබල මණ්ඩල පරිවර්තන කාර්යය සාධක බළකායේ ප්‍රධානී පුබුදු නිරෝෂණ මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button