
මඩකලපුවේ දරු දෙදෙනාගේ මරණයේ අඳුරු සත්‍යය
අහිංසක දරුවන්ගේ ජීවිත අහිමි වූ මෙම සිදුවීම සමාජයම කම්පා කළ අතර, එහි පසුබිමේ තිබූ සංවේදී සහ කණගාටුදායක තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක ඇති වූ ගින්නකින් දුමාරය ආඝ්‍රාණය වී එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී නව තොරතුරු රැසක් හෙළි කර ගැනීමට මඩකලපුව පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙකි. පොලිස් විමර්ශන අනුව, දරුවන් සිටි හෝටල් කාමරයේ දොර ඔවුන්ගේ පියා විසින් පිටතින් වසා දමා ගොස් ඇති අතර, කාමරයේ තිබූ මෙට්ටයක හටගත් ගින්නකින් නිකුත් වූ දුමාරය හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණ සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන සිදුකළ මඩකලපුව මූලස්ථාන පොලීසිය, මුල් අවස්ථාවේ වාර්තා වූ කරුණු වලට වඩා වෙනස් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව දරුවන්ගේ පියා ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.
පෙරදී ප්‍රකාශ වී තිබුණේ දරුවන්ගේ මව පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් ඇය බැලීමට ඔවුන් මඩකලපුවට පැමිණි බවයි. කෙසේ වෙතත්, වෛද්‍ය සහ පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එවැනි රෝගී තත්ත්වයක් නොමැති බවත්, දරුවන්ගේ මව මේ වනවිට මාතර ප්‍රදේශයේ නිවසේ සිටින බවත්ය.
විමර්ශනවලදී තවත් අනාවරණය වී ඇත්තේ සැකකරු බිරිඳට පිළිකාවක් ඇති බව පවසමින් දරුවන් දෙදෙනාද යොදාගෙන විවිධ ප්‍රදේශවල සිඟමනේ යෙදී මුදල් උපයා ඇති බවයි.
තමන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුන්වා දී තිබුණද, ඔහු ඇත්ත වශයෙන්ම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය හෙළි කරගෙන තිබේ.
එමෙන්ම ඔහු භාවිත කර තිබූ ජාතික හැඳුනුම්පතද වෙනත් පුද්ගලයෙකුට අයත් එකක් බව අනාවරණය වී ඇත. එය 2023 වසරේදී අස්ථානගත වූ හැඳුනුම්පතක් වන අතර, එහි සැබෑ හිමිකරු මේ වනවිට කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින බව සඳහන්ය.
පොලීසිය පවසන්නේ සැකකරු එම ව්‍යාජ අනන්‍යතාව භාවිත කරමින් දිගු කාලයක් ජනතාව මුලා කර ඇති බවයි. ඔහුට එරෙහිව මීට පෙරද ප්‍රදේශ කිහිපයක වංචා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව වාර්තා වෙයි.
මේ අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා මියගිය දරුවන්ගේ මවද පොලීසිය වෙත කැඳවා ඇති අතර, සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.



