
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, ජනාධිපති නීතිඥ පත්කිරීම් සඳහා මෙතෙක් පැවති එක් ප්‍රධාන විධිවිධානයක් සංශෝධනය කර ඇත.
නව සංශෝධනය අනුව, ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත් කිරීමට නම් අදාළ පුද්ගලයා අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස කටයුතු කර තිබීම අනිවාර්ය වේ.
මීට පෙර ක්‍රියාත්මක වූ මාර්ගෝපදේශ යටතේ විශේෂ අවස්ථාවලදී සෙසු සුදුසුකම් සපුරා ඇති සහ වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන්ගේ අයදුම්පත් ද සලකා බැලීමේ හැකියාව පැවති නමුත්, නව සංශෝධනයත් සමඟ එම ප්රතිපාදනය ඉවත් කර තිබේ.
මේ අතර, 2026 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති අතර, සුදුසුකම් සපුරා ඇති නීතිඥවරුන්ට අගෝස්තු 31 දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව එහි සඳහන් කර ඇත.




