
දිවුලපතානේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
මේ වනවිට මහවැලි අධිකාරිය යටතට පවරාගෙන තිබෙන නැගෙනහිර පළාතේ සිංහල වැසියන් බහුතරයක් වාසය කරන, දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව අදාල පාර්ශ්ව කරුවන්ට සුදුසු සහන ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
වාර්තාකරුවන් පවසන ආකාරයට, අදාල පදිංචිකරුවන් ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් අතිපූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු එම ග්‍රාමයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා අදාල දැනුම්දීම සිදුකළ බවය.
එම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ක් ඉදිරියේ කැඳවා තිබූ අතර එයට අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වාදී ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර එම ග්‍රාමයේ මුල් පදිංචිකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදීම හෝ වන්දි ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
ඒ අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් එහිදී පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම පරීක්ෂණය නිම වන තුරු එම ගම්වැසියන් දැනට සිටින ස්ථානයේම රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසත්, ඔවුන්ට පිළිගත හැකි සහනයක් හිමි විය යුතු බවත් ය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ගේ එකඟතාවය ඇතිව පෙත්සම විභාගය අවසන් කිරීමට තීරණය කළේය.
එම පරීක්ෂණයෙන් අනතුරුව නිසි සහන නොලැබුණහොත් මෙම නඩු කටයුත්ත මෝසමක් මාර්ගයෙන් යළි කැඳවිය හැකි බවද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට දැනුම්දී ඇත.



