
ඉන්ධන මිල අඩු කිරීම ගැන රජයෙන් ඉඟියක්
ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යන ප්රවණතාවට අනුව එහි වාසිය ජනතාවට ලබාදීමට රජය අපේක්ෂා කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
අද (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට ඉන්ධන සඳහා රුපියල් බිලියන 57ක සහනාධාරයක් රජය ලබාදී ඇති අතර එම සහනාධාරය ජූනි මාසයෙන් අවසන් වීමට නියමිත බවයි.
ඒ අනුව, සහනාධාරය තවදුරටත් ලබාදිය හැකිද යන්න පිළිබඳව පවතින තත්ත්වය සලකා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවද ඔහු පැවසීය. මහජනතාවට අනවශ්‍ය පීඩනයක් එල්ල නොවන අයුරින් කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේදී මෙරට ඉන්ධන මිල සුළු වශයෙන් පමණක් සංශෝධනය කිරීමට රජය පියවර ගත් බවද ඔහු සඳහන් කළේය. මේ වන විට එම මිල ගණන් යළි පහළ යමින් පවතින බැවින්, නව මිල ගණන් යටතේ ඇණවුම් කරන ඉන්ධන මෙරටට ලැබීමත් සමඟ එහි වාසිය ජනතාවට ලබාදීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත්, දැනට භාවිතයට ගැනෙන්නේ පසුගිය මාසයේ ඇණවුම් කළ ඉන්ධන තොග වන අතර, ඉදිරි මාස දෙක තුළද එම තොග ලැබීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා මෙසේ පැවසීය.
“යුදමය තත්ත්වය පවතින්න කළින් පැවැති තත්ත්වයට තාම ඇවිත් නෑ. උදාහරණයක් විදිහට බොරතෙල් බැරලයක් අපි අවසානයට ගත්තේ ඩොලර් 64-65ත් අතර ප්‍රමාණයකට. ඒක ඩොලර් 125ක් දක්වා ඉහළ ගියා. අපි ඒ වෙලාවෙත් මේක දෙගුණයකින් වෙලා තියෙනවා කියලා දෙගුණයකින් මිල වැඩි කිරීමක් කරලා ලාබ ගන්න තැනකට ගියේ නෑ. අපි එවලෙත් උත්සාහ කළේ පැවතුණ මිල ගණන්වලට තෙල් ලබා දීම තමයි කළේ. මිල වැඩි කිරීම පවා අපි අවබෝධයෙන් සුළු වශයෙන් තමයි වැඩි කළේ. නමුත් දැන් ඒ වැඩිවෙච්ච මිල 125න් පහළට ඇවිත් තිබෙනවා ඩොලර් 70 කලාපයට එමින් තිබෙනවා එහි වාසිය අපිට ලබා දෙන්න පුළුවන් කම ලැබෙන්නේ ඒ මිල ගණන් අනුව එම පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවාත් එක්කම. දැන් ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ පසුගිය මාසයේදී ඇනවුම් කරපු තෙල්. අපි උපරිම වශයෙන් දැනට මේ බර දරාගන්න බැරි නිසා රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ රුපියල් බිලියන 57ක්ම වෙන් කරලා මේ සඳහා සහනාධාරය දුන්නා. මේ ජූනි මාසයේ ඒ සහනාධාරය අවසන් වෙනවා පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම කරලා තවත් සහනාධාරයක් දෙන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් දැනුම්දෙනවා. කිසිදු ආකාරයට මහජනතාවට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපි සූදානම් නෑ. ඒ ලැබෙන වාසිය ඉදිරියේදී ලබා දෙන්න සූදානම් වෙනවා.”



