ප්‍රධාන පුවත්

මහින්ද සහ පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට මැයි 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදෙන ලෙස දැනුම්දී තිබේ.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ 2013 වසරේ සිදුවූ බවට චෝදනා එල්ල වන එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට සම්බන්ධවය.

එම ගනුදෙනුව යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා Airbus A-330 ගුවන් යානා 06ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් මුදලක් ලබාගත් බවට හිටපු ශ්‍රීලන්කන් ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන යටතේ කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වනදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු මැයි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

විමර්ශන අතරතුර අනාවරණය වූ කරුණු අනුව, එයාර්බස් ගනුදෙනුවෙන් ලැබුණු බව කියන අල්ලස් මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ එවක ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබාදී ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

එමෙන්ම, 2015 වසරේ සිදුකළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී සමස්ත රුපියල් මිලියන 60ක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවාසවලදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවද අධිකරණයට සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button