ප්‍රධාන පුවත්

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවෙන් පසු තත්ත්වය

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවෙන් පසු තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට

මහර බන්ධනාගාරයේ ඊයේ (01) හටගත් නොසන්සුන්තාව මේ වනවිට පාලනය කර ඇති බව වාර්තා වෙයි. රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙම සිද්ධිය හටගෙන තිබුණි.

සිද්ධියෙන් රැඳවියන් හත් දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, ඔවුන්ගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලීසිය යෙදවූ අතර, ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් මඟින් බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළේය.

නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තැබූ බවද වාර්තා විය.

රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන්ට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර නොලැබීමත් සමඟ බන්ධනාගාරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර, වෙඩි හඬට සමාන ශබ්ද ඇසීමෙන් පසු පිරිසක් පොලිස් මුර බාධක බිඳගෙන ඇතුළුවීමට උත්සාහ කර තිබුණි. එහිදී ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කළ අතර, ඔවුන් වෙත ගල් ප්‍රහාර කිහිපයක්ද එල්ල වී තිබේ.

සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් මහර පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමටද පොලීසිය කටයුතු කළේය.

මේ අතර ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා බන්ධනාගාර පරිශ්‍රයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කර තිබේ.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර බන්ධනාගාරයට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවත්ය. බන්ධනාගාරය තුළ ඇති වූ ගිනි තැබීමද මේ වනවිට පාලනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button