උණුසුම් පුවත්

සජින් වාස්ට ඇප

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. එමෙන්ම ඔහුට විදේශ ගමන් තහනම් කර ඇති අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමටද උපදෙස් ලබාදී තිබේ.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු සැකකරු නිදහස් කිරීමට නියෝග කළ අධිකරණය, නඩුව යළි කැඳවීම සඳහා අගෝස්තු 22 වනදා නියම කර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින්, 2010 සිට 2015 දක්වා කාලය තුළ විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ මෙම සැකකරු 2013 මාර්තු 31 සිට වසරක කාලයක් ඇතුළත විදේශ සංචාර 30කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බව ප්‍රකාශ කළහ.

එම සංචාර සඳහා වැය වූ මුදල් පිළිබඳ විස්තර සැකකරු විසින් ඉදිරිපත් කර නොමැති බවද සඳහන් කෙරිණි. තවද, සැකකරු සහ ඔහුගේ බිරිඳගේ බැංකු ගිණුම් හරහා විශාල ප්‍රමාණයේ ගනුදෙනු සිදු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් බැංකු නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අල්ලස් කොමිසම පවසයි. එම ගනුදෙනු දේශීය සහ විදේශීය වශයෙන් සිදු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අදාළ මාස 12ක කාලය තුළ විදේශ සංචාර සහ ජීවන වියදම් සඳහා රුපියල් මිලියන 52කට අධික මුදලක් වැය කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයට දක්වමින් සඳහන් කළේ, සැකකරුගේ බිරිඳගේ ගිණුමේ පවතින රුපියල් මිලියන 39ක මුදලක් දේපළක් විකිණීමෙන් ලැබුණු මුදලක් බවයි. එම කරුණු සනාථ කරන බැංකු ලේඛනද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එම වත්කම් සහ බැරකම් ප්‍රකාශවලද ඇතුළත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button