
භාණ්ඩ නොගෙන ඩොලර් බිලියන 190ක් රටින් පිට කළ ජාවාරම
භාණ්ඩ ආනයනය කරන බව පෙන්වමින් මෙරට ලියාපදිංචි සමාගම් 89ක් හරහා රුපියල් බිලියන 190කට අධික මුදලක් අමෙරිකානු ඩොලර් ලෙස විදේශයට යවා තිබියදී, එම මුදලට අදාළ කිසිදු භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ගෙන්වා නොමැති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (25) අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජෙෆ්රි මොහොමඩ් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා මෙම කරුණු හෙළි කළේය.
ඔහු අධිකරණයට දැනුම් දුන්නේ, Next Gen ආයතනය හරහා ටෙලිග්රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය භාවිත කරමින් විශාල මුදල් ප්‍රමාණයක් විදේශයට යැවීම සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයේදී මෙම වංචා ජාලය අනාවරණය වූ බවයි.
විමර්ශන අනුව, සමාගම් 89ක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190කට වැඩි මුදලක් ඩොලර් ලෙස විදේශයට ප්‍රේෂණය කර තිබුණද, ඒ වෙනුවෙන් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැති බව හෙළි වී තිබේ.
ඉන් සමාගම් 36ක් සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී ව්‍යාජ හිමිකරුවන් යොදා සමාගම් සහ බැංකු ගිණුම් විවෘත කර ඇති බවද අනාවරණය වී ඇත. එම සමාගම් හරහා පමණක් අවස්ථා 10,151කදී රුපියල් බිලියන 75කට ආසන්න මුදලක් විදේශයට යවා ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම ක්‍රියාවලිය මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් විශුද්ධිකරණයටද යොදාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
තවද, AY Investment නමැති සමාගම හරහා රුපියල් මිලියන 6ක් ඩොලර් ලෙස විදේශයට යවා ඇති බවත්, එම සමාගමේ හිමිකරු ලෙස කටයුතු කර ඇත්තේ අත්අඩංගුවට ගත් ජෙෆ්රි මොහොමඩ් බවත් රජයේ අධිනීතිඥවරයා සඳහන් කළේය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ රුපියල් මිලියනයක මුදලක්ද තිබී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු ජූලි 9 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.



