
බෙංගාල බොක්කේ පීඩන අවපාතයක් අද – සුළි කුණාටු අවදානමත් ඉහළට
බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානම ඉහළ යමින් පවතින අතර, උතුරු අන්දමන් දූපත් ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය අද (24) දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය විය හැකි බවත්, හෙට (25) දිනය වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ ඇති බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වනවිට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව එය සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
මෙම කාලගුණ පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරේ. එහෙත් එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ අනෙකුත් ප්රදේශවලද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක් තද වැසි ලැබිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.



