ව්‍යාපාරික

මාස 6කට පසු බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මාස හයකට ආසන්න කාලයකින් පසු ඉහළම අගයට පැමිණ තිබේ. මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධා හේතුවෙන් බොරතෙල් මිල ගණන් ඩොලර් 3කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තීරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.55කින් හෙවත් සියයට 3.14කින් ඉහළ ගොස් ඩොලර් 116.72ක් දක්වා වැඩි වී තිබේ.

ලෝකයේ අලෙවි වන බොරතෙල් ප්‍රමාණයෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක මිල තීරණය කිරීම සඳහා බ්‍රෙන්ට් මිල පදනම් කරගනු ලබයි. මෙම නව මිල වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් 29 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසය.

මේ අතර, අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 3.80කින් හෙවත් සියයට 3.8කින් ඉහළ ගොස් ඩොලර් 103.27ක් ලෙස සටහන් වී ඇත.

ඒ අනුව, මෙම සතිය තුළ බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට 6කින් ඉහළ ගොස් ඇති අතර WTI මිල සියයට 2.3ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

විදෙස් වාර්තාවලට අනුව, ලොව විශාලතම බොරතෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය සහ යේමනයේ හූති කැරලිකරුවන් අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාර මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසන්න මුහුදේ සිදුවූ තෙල් කාන්දුව ද මෙම මිල ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button