
අයිස් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් යතුරුපැදි සොරකම් 8ක්
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී යතුරුපැදි සොරකම් 8ක් ඇතුළු දේපල සොරකම් රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
පසුගිය 8 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ද ලබාගෙන ඇත.
විමර්ශන අනුව, බම්බලපිටිය, නාරාහේන්පිට, පෑලියගොඩ, දෙමටගොඩ, තලංගම, ගොතටුව, මරදාන, කුරුඳුවත්ත, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් වසම් ආවරණය කරමින් යතුරුපැදි 8ක් සොරකම් කර ඇති බව හෙළි වී තිබේ. එමෙන්ම ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු වටිනා දේපල කිහිපයක් ද සොරකම් කර ඇති බව සඳහන් වේ.
අදාළ සැකකරු වයස අවුරුදු 32ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය. ඔහු විසින් සොරකම් කළ බවට සැලකෙන යතුරුපැදි කිහිපයක් සහ අනෙකුත් දේපල විමර්ශන නිලධාරීන් විසින් මේ වනවිට සොයාගෙන තිබේ.
සැකකරු අද (14) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.



