
බීර නිෂ්පාදනයට සහල්-සීනි භාවිතය වළක්වන්න පෙත්සමක්
බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අනුමැතිය ලබාදීම වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති අතර, සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ සුරා බදු පනතේ දෙවන වගන්තිය අනුව “බීර” ලෙස අර්ථකථනය කර ඇත්තේ මෝල්ට් භාවිතයෙන් සාදන ලද පැසුණු මත්පැන් බවයි. එහෙත් වර්තමානයේ ඇතැම් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි යොදා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, එය නීතිමය විධිවිධානවලට පටහැනි බවත් ඔවුන් චෝදනා කරයි.
තවද, රජය මහජන මුදල් යොදා සහල් නිෂ්පාදනය සඳහා විශාල සහනාධාර ලබාදෙන පසුබිමක, එම සහල් බීර වැනි වාණිජ නිෂ්පාදන සඳහා යොදා ගැනීම ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇතිකරන බවද පෙත්සමේ සඳහන් වේ.
මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවට සහල්වලින් ස්වයංපෝෂිත වීම අභියෝගයකට ලක්විය හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
මත්පැන් නිෂ්පාදනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් භාවිත කරන ප්රමිතීන් ද වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි යාවත්කාලීන කර නොමැති බවද ඔවුන් චෝදනා කර තිබේ.
ඒ අනුව, බීර නිෂ්පාදනය සඳහා සීනි සහ සහල් භාවිතයට අනුමැතිය ලබාදීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.



