
බාලදක්ෂ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ
බාලදක්ෂ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ. මෙම නියෝජිත පිරිසට ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ සභාපති ආචාර්ය එම්. සින් බින් බිඩින් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළත් විය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කලාපීය බාලදක්ෂ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ අඛණ්ඩ සංවර්ධනය සහ එය ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.
එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික වැඩසටහනට විදේශීය අත්දැකීම් හා සාර්ථක ක්‍රියාමාර්ග හුවමාරු කරමින් බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිස මෙහිදී අවධාරණය කර තිබේ.
තවද, 2027 වසරේ පෙබරවාරි මාසයේ ආසියා-පැසිෆික් බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සහ ඒ සඳහා රජයේ සහාය ලබාදීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති බව සඳහන්ය.
මෙම හමුවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහ ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.



