ප්‍රධාන පුවත්

පවතින යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

උද්ගතව ඇති මැදපෙරදිග යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ජනාධිපතිවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් මෙම අදහස් පළ කළේය.

 

“ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. තාක්ෂණික වශයෙන්, යුදමය වශයෙන් ඉතාම විශාල අවි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොන තරම් විනාශකාරී ද කියන එක පිළිබඳව අපි කාටත් අවබෝධයක් ලබාගත හැකියි.

එනිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ, මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්
ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු යන්නයි.”

 

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයටද ගැඹුරු බලපෑම් එල්ල විය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එවැනි තත්ත්වයකින් හුදකලාව මිදීම රටක් ලෙස අපට අපහසු වන බවද ඔහු අවධාරණය කළේය.

 

මෙම අභියෝගයට මුහුණ දීම සඳහා රටක් ලෙස සූදානම් වැඩපිළිවෙලක් සකස් කරන බව පැවසූ ජනාධිපතිවරයා, එය සාර්ථක කරගත හැක්කේ සාමකාමී ලෝකයක් උදෙසා ජාත්‍යන්තර මට්ටමින් සිදුකරන කැපවීම් සමඟ එක්වීමෙන් පමණක් බවද ප්‍රකාශ කළේය.

 

මැදපෙරදිග ප්‍රදේශයේ යුද්ධය හේතුවෙන් තෙල් සහ ගෑස් සැපයුම්වල බාධා ඇති වීමේ අවදානමක් පවතින අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද ගැටලු මතුවිය හැකි බව ඔහු සඳහන් කළේය.

 

 ඒ සමඟ සංචාරක කර්මාන්තය, විදෙස් ප්‍රේෂණ, නාවික හා ගුවන් කර්මාන්ත වැනි ක්ෂේත්‍රවලටද බලපෑම් එල්ල විය හැකි බවද පෙන්වා දුන්නේය.

 

කෙටි කාලීන හා දීර්ඝ කාලීනව රට මුහුණ දීමට සිදුවන අභියෝග සඳහා විසඳුම් සොයා ගැනීම අත්‍යවශ්‍ය බව කියා සිටි ජනාධිපතිවරයා, අතීතයේ අමිහිරි අත්දැකීම් හේතුවෙන් මෙවැනි අවස්ථාවක ජනතාව කලබලයට පත්වීම සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් බවද සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button