ප්‍රධාන පුවත්

අධික වැසි මැද ජලාශ 18ක් වාන් දමයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාර්තා වෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, වාන් දමන ප්‍රධාන ජලාශ අතරට අනුරාධපුරයේ රාජාංගණය, බදුල්ලේ සොරබොර වැව, මහනුවර දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල, දේවහූව සහ නාලන්ද, හම්බන්තොටේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ ඇල සහ වෙහෙරෙගල, කුරුණෑගලේ දැදුරුඔය සහ මොනරාගලේ අලිකොටාආර ඇතුළත් බවයි.

රාජාංගණ ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට වැඩි ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙමින් පවතින අතර, සොරබොර ජලාශයේ ද වාන් දොරටු 5ක් අඩි 2 බැගින් විවෘත කර මහවැලි ගඟට ජලය නිකුත් කෙරේ.

එමෙන්ම නාලන්ද ජලාශයෙන් තත්ත්පරයකට ඝන අඩි 1,000කට වැඩි ජලය නිකුත් වන අතර, දේවහූවෙන් ඝන අඩි 1,300කට අධික ජල ප්‍රමාණයක් පිටතට මුදා හැරෙයි. ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර කිරිඳිඔයට ඝන අඩි 4,000කට අධික ජලය නිකුත් කරන බවද සඳහන් වේ.

වෙහෙරෙගල ජලාශයෙන් මැණික් ගඟ වෙත තත්ත්පරයකට ඝන අඩි 1,900කට වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙන අතර, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඝන අඩි 2,800කට අධික ජලය දැදුරුඔයට මුදා හරින බවද වාර්තා වෙයි.

මධ්‍ය පරිමාණ ජලාශ අතරට තුරුවිල, බෝඹුරුඇල්ල, දෙබරවැව, සද්ධාතිස්ස, මාලින්පොත සහ මයිලන්කුලම ජලාශ ඇතුළත් වේ.

ඉදිරි දිනවල ලැබෙන වර්ෂාපතනය අනුව වාන් දමන ජල ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින්, ජලාශ අවට සහ පහත්බිම් ප්‍රදේශවල ජනතාව වාරිමාර්ග, කාලගුණ සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button