
පාස්කු ප්‍රහාර විමර්ශන දේශපාලනීකරණය නොකරන්න – නාමල් රාජපක්ෂගේ ඉල්ලීම
2019 වසරේ සිදු වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන දේශපාලන ප්රතිවාදිතාවන්ට හෝ භූ-දේශපාලන අරමුණු වලට යොමු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
ඔහු සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, වර්තමාන රජය බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දුවක් ලබාදෙමින් බවයි.
එහෙත්, මේ වනවිට පවත්වාගෙන යන විමර්ශනවල ප්‍රගතිය සැලකිල්ලට ගත් විට එම පොරොන්දුව ඉටු වනවාද යන්නත්, විමර්ශන ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය රැකෙන්නේද යන්නත් පිළිබඳව බරපතළ සැක මතුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
තමා සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ පක්ෂපාතී නොවන පරීක්ෂණයක් සඳහා කිසිසේත්ම විරුද්ධ නොවන බවත්, එවැනි විශ්වාසනීය විමර්ශනයකට තමා දැඩි සහය ලබාදෙන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“මෙම කුරිරු ත්‍රස්ත ක්‍රියාව පිටුපස සිටින සැබෑ කුමන්ත්රණකරුවන් හඳුනාගෙන නීතියට අනුව දඬුවම් ලබාදිය යුතු බව අප දැඩිව විශ්වාස කරනවා,” යනුවෙන්ද ඔහු පැවසීය.
එමෙන්ම, මෙජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ ගෞරවනීය හමුදා නිලධාරියෙකු බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂවරයා වන සුරේෂ් සලේ මහතා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ත්රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන ගිය සටනේදී වැදගත් දායකත්වයක් ලබාදුන් බවද ඔහු සඳහන් කළේය.
ඔහු ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ සේවය ප්‍රශංසනීය බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, පසුගිය කාලය තුළ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ කරමින් ව්‍යාජ මත සහ දේශපාලන බලපෑම් සහිත කතා නිර්මාණය වී ඇති බවද චෝදනා කළේය.
එසේම, පාස්කු ප්‍රහාරයට අදාළව වගකීම් පැහැර හැර ඇතැයි චෝදනා එල්ල වූ පුද්ගලයන් කිහිප දෙනෙකුට සමාන මට්ටමේ විමර්ශන සිදු නොවීම සම්බන්ධයෙන්ද ඔහු ප්‍රශ්න කළේය.
නිල කොමිෂන් වාර්තා තුළ නොසැලකිල්ල සඳහා නම් සඳහන් වූ සමහර පුද්ගලයන් පසුව වර්තමාන රජය සමඟ එක්වී ඇති අතර, ඔවුන්ට උසස් තනතුරු ලබාදී තිබෙන බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය. එම අතරේ සුරේෂ් සලේ මහතා පමණක් විශේෂයෙන් ඉලක්ක කරමින් විමර්ශන සිදු කරන බවටද ඔහු චෝදනා කළේය.



