
ශ්‍රී ලංකාවේ ස්ථාන තුනකදී කාන්තාවන්ට අමානුෂික ප්‍රහාර 3ක් – සැකකරුවන් අත්අඩංගුවට
සමාජයේ සංවර්ධනය කෙතරම් ඉදිරියට ගියත්, කාන්තා ආරක්ෂාව තවමත් ප්රශ්නයක්ව පවතින බව මෑත සිදුවීම් යළිත් පෙන්වා දෙයි. කාන්තාවන්ට එරෙහි හින්සාව සමාජයේ අඩංගු වන අසංවේදීකම, නීතියට ඇති භය අඩුවීම සහ මානවත්වයේ අඩු වීම හෙළි කරන ලක්ෂණයක් ලෙස සැලකිය හැක.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කාන්තාවන් තිදෙනෙකුට එරෙහිව සිදුකළ අමානුෂික ප්‍රහාර තුනක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මොරගහහේන ප්‍රදේශයේදී, රතිඤ්ඤා ශබ්දය තම නිවසේ සුනඛයන්ට පීඩාවක් බව සඳහන් කරමින් එය නවත්වන ලෙස ඉල්ලා සිටි අසල්වැසි කාන්තාවකට පහර දෙන සිද්ධියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මොරගහහේන පොලිසිය, පීඩිත කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 54ක් වන වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
එමෙන්ම, ගොකරැල්ල මැදලන්ද හංදිය අසළදී තවත් කාන්තාවකට පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වේ. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇයගේ පුතුන් දෙදෙනා ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන දිගටම පවත්වාගෙන යන බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර, රාගම ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි කාන්තාවක් භාණ්ඩ සොරකම් කළ බවට චෝදනා කරමින්, වෙළඳසැල් සේවකයන් විසින් ඇයගේ හිසකෙස් කපා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ සංසරණය විය.
එහිදී, කෙස් කපා නොදමන ලෙස ඇය බැගෑපත්ව ඉල්ලා සිටියද, එම ඉල්ලීම නොතකා ක්‍රියා කළ ආකාරය දැක්වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, පීඩිත කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 20 සිට 27 දක්වා පරාසයක පසුවන පුද්ගලයින් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධීන් තුනම සමාජයේ කාන්තාවන්ට එරෙහිව පවතින හින්සාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක් ලෙස සැලකෙයි.



