ප්‍රධාන පුවත්

ගුවන් ගමනේදී රුමේෂ්ගේ හෙල්ල 5කට හානි

රුමේෂ්ගේ හෙල්ල 5කට හානි සිදුවී ඇත්තේ ඔහු සිය ජාත්‍යන්තර ජයග්‍රහණවලින් අනතුරුව අද (15) උදෑසන දිවයිනට පැමිණීමත් සමඟය.

වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු බව යළිත් තහවුරු කළ රුමේෂ් තරංග, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයට අයත් TK-730 ගුවන් යානයෙන් අද අලුයම 5.10ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

එහිදී ඔහු සතු හෙල්ල පහක් ගුවන් මගින් රැගෙන ඒමේදී සැකසහිත ලෙස කැඩී හානිවී ඇති බව වාර්තා වේ.

රුමේෂ් තරංග මෙවර දිවයිනට පැමිණියේ ඔලිම්පික් ශූරයා, ලෝක ශූරයා ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් අභිබවා වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් ශූරතාව දිනාගැනීමෙන් අනතුරුවය.

එම තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට ක්‍රීඩකයින් අටදෙනෙකු සුදුසුකම් ලබා සිටි අතර, වත්මන් ඔලිම්පික් ශූර පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්, වත්මන් ලෝක ශූර ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝහි කෙශෝර්න් වෝල්කෝට්, දෙවරක් ලෝක ශූරතාව දිනා ඇති ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ ජර්මනියේ යුරෝපානු ශූර ජුලියන් වෙබර්ද ඒ අතර සිටියහ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරයා, ඩයමන්ඩ් ලීග් ශූරයා සහ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩකයා ලෙස රුමේෂ් එම තරගයට එක්විය.

තරගයේ පළමු උත්සාහයේදී ඔහු මීටර් 75.89ක දුරක් වාර්තා කළ අතර, පළමු වටය අවසන් වනවිට පස්වන ස්ථානයේ පසුවිය.

දෙවන වටයේදී මීටර් 85.69ක දක්ෂතාවක් දක්වමින් තෙවන ස්ථානයට පැමිණි රුමේෂ්, තුන්වන වටයේදී මීටර් 87.11ක දුරක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

අවසන් වටයේදී සිය දක්ෂතාව තවත් ඉහළ නංවමින් මීටර් 91.09ක දැවැන්ත විසිකිරීමක් සිදු කළ රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වර්ල්ඩ් අල්ටිමේට් ශූරයා ලෙස කිරුළු පැළඳීය.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට අමෙරිකානු ඩොලර් 150,000ක මුදල් ත්‍යාගයක්ද හිමිව ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට ආසන්න මුදලකි.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව රුමේෂ් සිය ජයග්‍රහණය පිළිබඳව සතුට පළ කරමින් ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගැනීමට බලාපොරොත්තු වන තවත් පදක්කම් තුනක් පිළිබඳවද අදහස් පළ කළේය.

රුමේෂ් තරංග පැවසූ ප්‍රකාශය

“ඇත්තටම සතුටුයි… ලංකාවට මේ වගේ ටෝප්‍රි දෙකක් අරන් එන්න ලැබීම ගැන කියන්න වචන නෑ. මේ වෙනකල් මම කරපු හැමදේම එකතු කරලා පොතක් හදලා තියෙනවා. Book lunch එකක් කරනවා මේ මාසේ 17 වැනිදා. ඒ පොත අරන් කියවලා බැලුවොත් මම ආපු ගමන තියෙනවා.

ඉදිරි බලාපොරොත්තුව Asian Games , World Championship සහ ඔලිම්පික්. මට තව ලංකාවට දිනාදීමට තියෙන්නේ මෙඩ්ල් තුනයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button