
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් 952කට ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්රදානය
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා දක්ෂ හා කැපවූ වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට සෞඛ්‍ය සේවාවේ නියුතු පරිපූරක (PSM) සහ අතුරු වෛද්‍ය (Paramedical) ක්ෂේත්‍ර වෘත්තිකයන් 952 දෙනෙකුට ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්රදානය කිරීම ඊයේ (19) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී සිදුකර තිබුණි.
මෙම අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, එය සැසි වාර දෙකකින් සමන්විත විය.
පළමු සැසියේදී මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) 449 දෙනෙකුට සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) 77 දෙනෙකුට ඩිප්ලෝමා ප්රදානය කෙරිණි. ඒ අනුව වෘත්තිකයින් 526 දෙනෙකුට මෙහිදී ඩිප්ලෝමා හිමිවිය.
දෙවන සැසියේදී පාසල් දන්ත චිකිත්සක සේවා (SDT), ඖෂධවේදී (Pharmacy) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) යන ක්ෂේත්රවල වෘත්තිකයන් 426 දෙනෙකුට උසස් ඩිප්ලෝමා පිරිනැමුණි. එහිදී SDT 39 දෙනෙකුට, ඖෂධවේදීන් 149 දෙනෙකුට සහ PHI 238 දෙනෙකුට එම ගෞරවය හිමිවිය.
උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවයි. එම ඉලක්කය සාර්ථක කරගැනීමට නව වෘත්තිකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව මාතෘ හා ළමා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්රවල ලබා ඇති ජාත්‍යන්තර ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යාම මෙම වෘත්තිකයන්ගේ වගකීමක් බවත්, වෘත්තීය දියුණුව හරහා අනාගත සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීමට ශක්තිය ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
මෙම වෘත්තිකයන් ජාතික සෞඛ්‍ය පද්ධතියේ “පෙරගමන්කරුවන්” ලෙස කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, ඔවුන්ට වෘත්තීය සුදුසුකමක් පමණක් නොව, මහජනතාවට සේවය කිරීමේ ජාතික වගකීමක්ද භාර වන බව ඔහු අවධාරණය කළේය.
සෞඛ්‍ය සේවාව නවීකරණය කිරීම සඳහා රජය ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදෙමින් විශේෂ ආයෝජන සිදුකරමින් ඇති අතර, වෘත්තිකයන්ට අඛණ්ඩ පුහුණුව, අධ්‍යාපනය සහ දේශීය-විදේශීය අත්දැකීම් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද මෙහිදී සඳහන් විය.
ඒ සමඟම, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළද මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



