
මුහුදු ප්‍රදේශ රැසකට රතු අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා විහිදෙන මුහුදු කලාප සඳහා තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
අද (10) පෙරවරු 10.30ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (11) පෙරවරු 10.30 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වෙන බව සඳහන්ය.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අගයන් දක්වා ඉහළ යා හැකි අතර, මුහුද ඉතා රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ හේතුවෙන් කන්කසන්තුරය – මන්නාරම – කල්පිටිය අතර මුහුදු කලාපයට යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික හා ධීවර ප්‍රජාව වෙත බලධාරීන් උපදෙස් ලබාදී ඇත.
මේ අතර, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි බවද නිවේදනයේ දැක්වේ.
එසේම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු කලාපවල රළ උස මීටර් 2 සිට 2.5 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



