
නිදහස් චතුරස්‍ර ඇවිදින මංතීරුව ගැන හර්ෂගෙන් අනතුරු ඇඟවීමක්
කොළඹ පිහිටි නිදහස් චතුරස්‍ර ඇවිදින මංතීරුව මේ වන විට අබලන් තත්ත්වයට පත්ව ඇති බවත්, බරපතළ අනතුරක් සිදුවීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, වසර 15කට පමණ පෙර ඉදිකරන ලද මෙම මංතීරුව කොළඹ අවට ප්‍රදේශවල බොහෝ පිරිසක් දෛනිකව භාවිත කරන ස්ථානයක් බවයි.
නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මංතීරුවේ මතුපිට කොටස් ගැලවී ගොස් ඇති බවත්, තියුණු ගල් මතුපිටට නෙරා ඒම නිසා විශේෂයෙන් වයෝවෘද්ධ පුද්ගලයින් අනතුරට ලක්වීමේ අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දී තිබේ.
එමෙන්ම මංතීරුව ප්‍රතිසංස්කරණය සඳහා ගෙනැවිත් ඇති පස් තොගයක් මාස ගණනාවක් තිස්සේ කිසිදු භාවිතයකින් තොරව අතහැර දමා ඇති බවද හර්ෂ ද සිල්වා මහතා සිය සටහනෙන් සඳහන් කර ඇත.
මෙම තත්ත්වය පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස නගරාධිපතිවරයාගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඔහු ඉල්ලීමක් කර තිබේ.
මේ අතර කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එම X සටහනට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, ගැටලුව නාගරික සංවර්ධන අධිකාරිය, අදාළ අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙම කරුණ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ඇය ස්තුතිය පළ කර තිබේ.



