ප්‍රධාන පුවත්

කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්ම 2055 දක්වා

කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු ඉදිරි වසර 30ක අවශ්‍යතා සපුරාලන අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා රජය විශේෂ සැලැස්මක් සකස් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (15) පැවති වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

සැලැස්මට අනුව 2055 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2 දක්වා ඉහළ නැංවීම ප්‍රධාන ඉලක්කයයි.

ඒ අනුව 2027 වසර තුළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර අවසන් කරමින් දැනට පවතින පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම සහ ඩිපෝ පහසුකම් ප්‍රසාරණය කිරීම සැලසුම් කර ඇත.

ගුවන්තොටුපොළ ආශ්‍රිත මගී ප්‍රවාහන සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, සියලු ගුවන්තොටුපොළ සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා ඩිජිටල් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද අනාවරණය විය.

මෙහිදී අනෙකුත් ගුවන්තොටුපොළවල තත්ත්වයද සමාලෝචනය කෙරිණි. මත්තල ගුවන්තොටුපොළ දිනකට රුපියල් මිලියන 6 සිට 7 දක්වා අලාභයක් ලබන අතර, වාර්ෂික අලාභය රුපියල් බිලියන 4ක් පමණ වන බව සඳහන් විය. එම ගුවන්තොටුපොළ සඳහා ආයෝජන යෝජනා කැඳවා ඇති අතර 2027 වන විට අදාළ ක්‍රියාවලිය අවසන් කිරීමේ අපේක්ෂාවද පළ විය.

යාපනය ගුවන්තොටුපොළේ මගී පර්යන්තය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, හිඟුරක්ගොඩ ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සිවිල් ගුවන් මෙහෙයුම් පිළිබඳ ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ ඇගයීමක් සිදු කර වාර්තාවක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දීය රජයේ සහාය යටතේ ක්‍රියාත්මක වරාය සංවර්ධන ව්‍යාපෘති, කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය, කොළඹ වරායේ Logistic Park ව්‍යාපෘතිය, දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම, බටහිර පර්යන්තයේ දෙවන අදියර සහ වරාය සේවා ඩිජිටල්කරණය පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button