ප්‍රධාන පුවත්

ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට යෝජනාවක් – පළමු කිලෝමීටරයට රුපියල් 120ක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයක් සැලසුම් කර තිබේ.

ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයට සංගමයෙන් යෝජනා දෙකක්

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසන්නේ දැනට අයකරන ගාස්තු ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සංශෝධනය විය යුතු බවයි.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා දැනට අයකරන රුපියල් 110ක ගාස්තුව රුපියල් 120ක් දක්වා ඉහළ දැමිය යුතු බවට එම සංගමය යෝජනා කර ඇත. එමෙන්ම දෙවන කිලෝමීටරයේ සිට අයකරන රුපියල් 90ක ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩි කළ යුතු බවද ඔවුන්ගේ යෝජනාව වී තිබේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රීරෝද රථ රියදුරන් මුහුණ දෙන වියදම් පිළිබඳව අදහස් දක්වමින් එල්. රෝහණ පෙරේරා මහතා මෙසේ පැවසීය.

“ගිය මාසයෙත් වැඩි කරා. අපි ඉල්ලීම කරා අපිට සද්දයක් නැහැ. දැන් මේ මාසයෙත් වැඩි වෙලා තියෙනවා. දැන් මේක රුපියල් 25කින් වැඩි වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව අපි පරිභෝජනය කරන සියලු දේ වැඩි වෙලා තියෙනවා. අද ගෑස් හොයාගන්න නැහැ. ඉතින් මේක අන්තෝ ජටා බහි ජටා වගේ අපිව නන්නත්කාර වෙන ක්‍රමවේදයක් තියෙන්නේ. මේක පාරිභෝගිකයා තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙනකොට අපි ධාවනය කරන්නේ රුපියල් 110යි. පළවෙනි කිලෝමීටරයේ සංශෝධනය විය යුතු ගාස්තුව රුපියල් 120කට, දෙවෙනි කිලෝමීටරයේ ඉඳන් අපි මේ වෙනකොට අය කරන්නේ රුපියල් 90යි. ඒක රුපියල් 100ක් විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව වෙන්නේ. ඒක අපි අරගෙන යනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. අපි බලමු ඉස්සරහට මේ ඉදිරි දින කීපය තුළදී ඒ අයගේ ප්‍රතිචාර. එහෙම නැති වුණොතින් එහෙම අපිට යන්න වෙනවා අනිවාර්යයෙන්ම අපේ මීටර සංශෝධනය, ඒ කියන්නේ ගාස්තු මීටරය සංශෝධනය කරන ආයතනත් එක්ක කතා කරලා මේක ගෙනියන්න විදියක් නැති වෙනවා. අපි එහෙම්පිටින්ම අසරණතාවයකට පත් වෙනවා.”

යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි දින කිහිපය තුළ එම කොමිෂන් සභාවේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බවත්, එසේ ප්‍රතිචාරයක් නොලැබුණහොත් ගාස්තු මීටර සංශෝධනය කරන ආයතන සමඟ සාකච්ඡා කිරීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button