ප්‍රධාන පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසකට කැබිනට් අනුමැතිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය හා ව්‍යුහය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවටත්, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුවටත් අනුමැතිය ලැබී තිබේ. එසේම, පළමු ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ගේ ඇගයීම් සඳහා සකස් කළ රාමුවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

උසස් පෙළ සඳහා වන ඇගයීම් රාමුව මේ වනවිට සකස් කරමින් පවතින අතර, ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ වාර්තාව ද අනුමත කර තිබේ. ඒ සම්බන්ධ කෙටුම්පත් සකස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කමිටුවක් පත් කිරීමට ද නියමිතය.

අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. එය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

පාසල් අධ්‍යාපනය තුළ ඩිජිටල් තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා වසර පහක කාලයක් තුළ රුපියල් බිලියන 96ක් වැය කිරීමට අදාළ ව්‍යාපෘති යෝජනාවකට ද ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ දෙකෙහිම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා උප කමිටුවක් ද ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම, උසස් පෙළ අවසන් කරන සිසුන්ට විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ (NCOE) සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වෙන වෙනම අයදුම් කිරීමේදී ඇතිවන පරිපාලනමය ගැටලු විසඳීමට නව ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, සියලු උසස් අධ්‍යාපන විකල්ප සඳහා එකම පද්ධතියක් ඔස්සේ අයදුම් කළ හැකි ඒකාබද්ධ ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ. මෙම ක්‍රමවේදය 2028 වසරේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංජිනේරු, වෛද්‍ය සහ කෘෂිකර්ම යන අංශ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට විශේෂ කමිටු පත් කර තිබේ. වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා සහ පශ්චාත් උපාධි ද ඊට ඇතුළත් වේ.

රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරන ආයතන නියාමනය කිරීම සහ උපාධි ප්‍රදානය කිරීමේ තත්ත්වය ලබාදීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නව ප්‍රතිපත්තියකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

මේ අතර, සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය වෙනුවෙන් ශ්‍රේණි කාණ්ඩ පහක් යටතේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබේ. එම කාණ්ඩ වන්නේ පළමු සහ දෙවන ශ්‍රේණි, තුන්වන සිට පස්වන ශ්‍රේණි, හයවන සහ හත්වන ශ්‍රේණි, අටවන සිට දහවන ශ්‍රේණි සහ 11 සිට 13 දක්වා ශ්‍රේණි ය.

මෙම වැඩසටහනට අදාළ නියමු ව්‍යාපෘතිය නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමටත්, ලබන වසරේ මුල් භාගයේදී එය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇති බව නිලධාරීහු සඳහන් කළහ.

වෘත්තීය අධ්‍යාපනය කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නවීකරණය කිරීම ද සාකච්ඡාවට ලක්ව තිබේ. ඒ සඳහා නව්‍යකරණය, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය සහ කර්මාන්තශාලා ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීම ඇතුළත් සිව්වැදෑරුම් උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව, පවතින ගුරු පුරප්පාඩු අනුව නව ගුරුවරුන් බඳවා ගැනීම, ගුරු ස්ථානමාරු ක්‍රමවත් කිරීම සහ පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

පාසල් සිසුන්ගේ සෞඛ්‍යය හා පෝෂණය ඉහළ නැංවීම සහ ක්‍රීඩා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා වැඩි අවස්ථා සැලසීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ කරුණු රැසක් ද මෙම සාකච්ඡාවේදී සලකා බැලුණු බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button