යුද්ධ සහ ගැටුම්

නයිජීරියාවේ ඒකාබද්ධ ප්‍රහාරයකින් IS සාමාජිකයින් 175ක් මරුට

නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ එක්ව සිදු කළ ගුවන් ප්‍රහාර මාලාවකින් IS ත්‍රස්තවාදී සංවිධානයට දැඩි පහරක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රහාරවලින් IS සංවිධානයේ දෙවන ඉහළම නායකයා ලෙස සැලකෙන අබු-බිලාල් අල්-මිනුකි ඇතුළු ත්‍රස්තවාදීන් 175 දෙනෙකු මියගොස් ඇති බවය.

අදාළ මෙහෙයුම සම්බන්ධයෙන් නයිජීරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය නිල ප්‍රකාශ නිකුත් කර ඇති අතර, ප්‍රහාරය ඊසානදිග නයිජීරියාවේ දුරස්ථ ගම්මානයක් ඉලක්ක කරගෙන සිදු කර තිබේ.

“ලොව වඩාත් සක්‍රීය ත්‍රස්තවාදී නායකයෙකු” ලෙස හඳුන්වනු ලැබූ අබු-බිලාල් අල්-මිනුකි IS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බව සඳහන් වේ.

2009 වසරේ සිට නයිජීරියාවේ මෙම කලාපය බොකෝ හරාම් සහ IS බටහිර අප්‍රිකානු ශාඛාවේ සන්නද්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව, වසර 17කට ආසන්න කාලයක් පුරා පැවති මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 40,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මිලියන දෙකකට අධික පිරිසක් අවතැන් වී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු හමුදා නයිජීරියාවට පැමිණියේ උපදේශන සහ පුහුණු කටයුතු සඳහා පමණක් බව ප්‍රකාශ කර තිබුණද, නවතම ඒකාබද්ධ ප්‍රහාරයත් සමඟ එරට හමුදා මෙහෙයුම් සඳහා අමෙරිකාව සෘජුවම සම්බන්ධ වී ඇති බව දැන් පැහැදිලි වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button