
අප්‍රේල් 11 මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් QR ක්‍රමය තාවකාලිකව නවතයි
උත්සව සමය හේතුවෙන්, අද (අප්‍රේල් 11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වනදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR කේත ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
අද (11) පැවති මාධ්‍ය හමුවකදී තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ, සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාවට පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
කෙසේ වෙතත්, වාහන අංකයේ අවසාන අංකය අනුව “ඔත්තේ – ඉරට්ටේ” ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම දිගටම ක්‍රියාත්මක වන අතර, ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එළෙසින්ම පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, අප්‍රේල් මාසය තුළ පිරිපහදුකළ තෙල් රැගත් නෞකා 12ක් මෙරටට පැමිණීමට නියමිත බවත්, ඒ අනුව ජූනි මාසය අවසන් වනතෙක් පෙට්‍රල් 92 හා 95 හිඟයකින් තොරව ලබාදීමට හැකියාව ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
තවද, තහවුරු කරගත් නෞකා සැලැස්ම අනුව මැයි මාසය අවසන් වනතෙක් ඩීසල් සැපයුමද ප්‍රමාණවත් ලෙස පවත්වාගෙන යා හැකි බව ඔහු අවධාරණය කළේය.
මෙම අතර, අප්‍රේල් 13 වනදා විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ෆර්නස් ඔයිල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර, එමඟින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද වැඩිදුරටත් සඳහන් කෙරිණි.



