
ඥානසාර හිමිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ.
එම දඬුවම අවලංගු කර තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනි.
2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශ සිදුකරමින් ජාතීන් අතර සංහිඳියාවට බාධා වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් උන්වහන්සේ එම චෝදනාවට වරදකරු කර මාස 09ක සිරදඬුවමක් නියම කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය අද දිනයේ මහාධිකරණය විසින් ඉවත දමා ඇත.



