ප්‍රධාන පුවත්

දුම්රිය සංඥා අක්‍රීය මාර්ගයේ ධාවනය ඇරඹීම ගැන බරපතළ චෝදනාවක්

දුම්රිය සංඥා අක්‍රීය මාර්ගයේ ධාවනය මාස ගණනාවක් වසා දමා තිබූ තලේමන්නාරම දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය යථා තත්ත්වයට පත් නොකරම දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව දැනගැනීමට ලැබී ඇති අතර, ප්‍රමාණවත් ආරක්ෂක ක්‍රමවේද සම්පූර්ණ නොකර දුම්රිය ධාවනය ආරම්භ කිරීම අනුමත කළ නොහැකි බවයි.

“දිට්වා සුළිකුණාටුවෙන් පස්සේ වසරකට ආසන්න වෙද්දිත් අවශ්‍ය මගී පහසුකම් යථාවත් කිරීමේ ගැටලු තිබෙනවා. මේ වනවිට මාස ගණනාවක් ධාවනය අහිමිවී තිබූ තලේමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන්න දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. අමාත්‍යවරයාගේ දැනුම්දීම මත ක්ෂණිකව ආරම්භ කළා කියන දේ තමයි එන්නේ. හැබැයි මේ මොහොත වනවිට දුම්රිය ස්ථාන ගණනාවක සියලු කටයුතු අත්හිටුවලා කාලාන්තරයක් තිබිලා ගමන් ආරම්භ කරනවා. සංඥා පද්ධතිය නැවත යථාවත් කරලා නැහැ. ගැටලු රාශියක් තිබෙනවා. අනාරක්ෂිතව දුම්රිය ධාවනය කරන්න නැවත පටන් අරගෙන.”

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන යෝජනා සහ ආරක්ෂක කරුණු සැලකිල්ලට නොගෙන කඩිමුඩියේ ගත් මෙම තීරණය පිළිබඳව සිය සංගමය විරෝධය පළ කරන බවයි.

“අමාත්‍යවරයා හැමදාම කියන්නේ මේක හරි පීල්ලට ගේන්න නිලධාරීන්ට කෝච්චියට නගින්න කියලා. හැබැයි වෘත්තීය සමිතිවලට නම් නගින්න කියන්නේ නැහැ. අපි හොඳ අදහස් දෙනවා..අපි ආණ්ඩු විරෝධී කතා නෙමෙයි කරන්නේ..මේවා කියද්දී කියද්දී.. අපිව හැමදාම එළියෙන් තියලා.. කිසිදු සාධනීය උත්තර ලබානොදී මේ කඩිමුඩියේ දුම්රිය ධාවනය ආරම්භ කිරීම පිළිබඳව අපි විරෝධය පළ කරනවා.”

තවද මැදවච්චියෙන් ඔබ්බට පිහිටි සංඥා පද්ධතිය තවමත් ක්‍රියා විරහිත තත්ත්වයක පවතින බව පෙන්වා දුන් ඔහු, එවැනි පසුබිමක දුම්රිය ධාවනය ආරම්භ කිරීම අනතුරුදායක විය හැකි බවද අවධාරණය කළේය.

“මැදවච්චියෙන් එහාට දීර්ඝ කාලයක් වහලා තිබ්බ සංඥා පද්ධතිය මේ වනවිට ක්‍රියා විරහිත තත්ත්වයක තිබියදී ගමන් ආරම්භ වෙන්නේ අලුයම් කාලයේ. අනතුරුවලට අත වනමින් මේ ගෙනියන ක්‍රමවේදයට වගකිවයුත්තෝ කවුද ?”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button