
මෙට්රෝ බස් අනතුරක් සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට
මෙට්රෝ බස් අනතුරක් සම්බන්ධයෙන් සැකපිට බස් රථ රියදුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එය හිතාමතා සිදුකළ බවට පොලිසිය සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්ග අංක 120 යටතේ ධාවනය වන හොරණ – කොළඹ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු බව සඳහන් වේ.
පොලිසිය සඳහන් කරන පරිදි, කහතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙට්රෝ බස් රථය පසුපසින් පැමිණි අදාළ සුඛෝපභෝගී බස් රථය කැස්බෑව හන්දියේ සිටම ප්රධාන ලාම්පු දල්වමින්, නලාව ශබ්ද කරමින් සහ අනාරක්ෂිත ලෙස ඉස්සර කරමින් ධාවනය කර තිබේ.
පසුව මිරිස්වත්ත ප්රදේශයේදී සුඛෝපභෝගී බස් රථය මෙට්රෝ බස් රථය ඉස්සර කිරීමට යාමේදී එහි පිටුපස කොටස මෙට්රෝ බස් රථයේ ඉදිරිපස දකුණු පස ගැටෙන ආකාරයෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුර හේතුවෙන් මෙට්රෝ බස් රථයේ දකුණු පැති කණ්ණාඩිය සහ ඊට පහළින් පිහිටි වීදුරුව කැඩී ගොස් තිබේ. එමඟින් සිදුවූ සමස්ත දේපළ හානිය රුපියල් 342,000ක් ලෙස තක්සේරු කර ඇත.
අනතුර සිදුවන ආකාරය අසල පිහිටි CCTV කැමරාවක ද සටහන් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, පොකුණුවිට ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අද (10) පොදු දේපළ පනත යටතේ කැස්බෑව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



