
දිට්වා බලපෑමෙන් නායයෑම් අවදානම ඉහළට
නායයෑම් අවදානම සම්බන්ධයෙන් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.
ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, පසුගිය දින කිහිපයේ පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන බවය.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නායයෑම් සිදු නොවූ නමුත් පස් සහ ගල් පහළට ගලා ආ ස්ථාන තවදුරටත් අවදානම් සහිත බව ඔහු පෙන්වා දුන්නේය. එවැනි ප්‍රදේශවලට ඉදිරියේදී දැඩි වර්ෂාපතනයක් ලැබුණහොත් නායයෑම් සිදුවිය හැකි බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවද ඔහු පැවසීය.
ඉදිරියේදී අපේක්ෂිත අධික වර්ෂාව හමුවේ නායයෑම් සක්‍රීය වීමේ අවදානමක් පවතින බව සඳහන් කළ ආචාර්ය සේනාධීර මහතා, මේ වනවිට නායයෑම් හේතුවෙන් අධි අවදානම් තත්ත්වයේ පසුවන පවුල් 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම, අධික වර්ෂාවක් පවතින අවස්ථාවක නායයෑම් අවදානමක් සහිත ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයින් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.
නායයෑම් සිදුවන ප්‍රදේශ නැරඹීම සඳහා කිසිදු අවස්ථාවක එම ස්ථාන වෙත නොයන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.



