
සහල් ආනයනයෙන් වී මිලට බලපෑමක් – ඩඩ්ලිත් කනගාටුවෙන්
සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් දේශීය වී ගොවීන්ට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ පිළිබඳව තමන් කනගාටු වන බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, වී සඳහා රජය සහතික මිලක් ප්‍රකාශයට පත් කර තිබුණද, විවිධ වී ප්රභේදවල නිෂ්පාදන පිරිවැය හා අස්වැන්න අතර පවතින වෙනස්කම් නිසි ලෙස සැලකිල්ලට ගෙන නොමැති බවයි. මේ හේතුවෙන් ගොවීන් සම්බා සහ කීරි සම්බා වගාවන් අඩු කර නාඩු වගාව වෙත වැඩි වශයෙන් යොමුවී ඇති බවද ඔහු පැවසීය.
ඩඩ්ලි සිරිසේන මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“වීවලට සහතික මිලක් දීලා තියෙනවා. ඒකේ ඇත්තම කතාව නාඩුවලට රුපියල් 120යි. සම්බාවලට රුපියල් 125යි. කීරි සම්බාවලට රුපියල් 130යි. ඉතින් මෙව්වා හදද්දි මේ හදන පුද්ගලයෝ දැනගන්න ඕනේ නාඩුවලට වැඩිය උපතින්ම බරත් අඩුයි ආදායමත් අඩුයි සම්බාවල. නාඩු සම්බාවලට වැඩිය උපතින්ම බරත් අඩුයි. ආදායමත් අඩු කීරි සම්බාවල.
ඒක නිසා මිනිස්සු ගොවියන් විසින් නිතරම කීරි සම්බා වගාවත්, සම්බා වගාවත් අතහැරලා. ඒකට තියෙන දීලා තියෙන මිල ගණන් මදි නිසා, නාඩු විතරක්ම වැඩ කරනවා.
ඒ තුළින් වෙන්නේ, මේ ලැබෙන ආදායම සමබර වෙන්නේ නැතිව නාඩු විතරක් වැඩි වුණාම, නාඩු මිල බිමටම වැටෙනවා. අරවා හිඟ නිසා, එව්වා උපරිම මිලකට යනවා. මේක තමයි මේ වෙන කාර්යය.
ඉතින් මේක අපි වෙළඳාමක් කරන්නේ තියෙන දෙයක් අරන් කොටලා දෙනවා මිසක් අපිට මෙව්වා මේ පාලනය කරන්න මේ දේ කරන්න මේ විදිහ කරන්න කියලා එහෙම කරන්න අයිතියක් නෑ.
ඉතින් ඒක පාලකයන් විසින් විසඳිය යුතු ගැටළුවක් වී ප්‍රශ්නයක් ඉස්සරහට එයිද මේ යන විදිහට වී ප්‍රශ්නයක් කියන්නේ වී විකුණගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් අපේ රටිනුත් ටොන් එක්ලක්ෂ පනස් හත්දාහක් ගෙනල්ලා දැම්මානේ මේ චෝදනා මං දැක්කා ඉඳලා හිටලා සමහර ගොවියෝ අපේ ඇඟටත් දානවා.
නමුත් අපි අද රටින් හාල් ගෙනාපු ප්‍රශ්නේ තිබ්බේ නැත්නම් ඔය ගොවියන්ට ඔය මිල කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්ථිරවම කිලෝව රුපියල් 125කට, 130කට විකුණගන්න තිබ්බ එක තමයි රුපියල් 90, 100 වැටිලා තියෙන්නේ. බොහෝම කනගාටුයි ඒ ගැන. මටත් කියන්න තියෙන්නේ එච්චර තමයි.”
ඔහුගේ අදහස් අනුව, සහල් ආනයනය හේතුවෙන් දේශීය වී මිල පහළ ගොස් ඇති අතර, එය ගොවීන්ගේ ආදායමට සෘජුවම බලපා ඇති බවට ඔහු චෝදනා කරයි. එමෙන්ම, වී වෙළඳපොළේ පවතින ගැටලු සඳහා දිගුකාලීන ප්‍රතිපත්තිමය විසඳුම් අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.



