
තේ ශ්‍රමිකයන්ට නව විශ්‍රාම යෝජනා ක්‍රමයක්
තේ කර්මාන්තය සහ ඊට සම්බන්ධ සේවාවන්හි නිරත ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම යෝජනා ක්‍රමයට තේ වතු සහ තේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව සේවය කරන ශ්‍රමිකයන්ට සම්බන්ධ විය හැකි අතර, තම ආර්ථික හැකියාවට අනුව වාරික තෝරාගැනීමේ පහසුවද ලබාදී තිබේ.
ඒ අනුව, වයස අවුරුදු 18දී යෝජනා ක්‍රමයට එක්වන අයෙකු කාර්තුවකට රුපියල් 600ක දායක මුදලක් ගෙවන්නේ නම්, වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු මාසිකව රුපියල් 5,000ක විශ්‍රාම වැටුපක් ලබාගත හැකි වේ.
මීට අමතරව, ගෙවනු ලබන වාරික ප්‍රමාණය අනුව රුපියල් 15,000, 20,000, 25,000 හෝ ඊට වැඩි මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හැකියාවද පවතින අතර, අවශ්‍ය අවස්ථාවක දායක මුදල ඉහළ දමා ප්රතිලාභ වැඩිකරගැනීමේ අවස්ථාවද සලසා ඇත.
විශ්‍රාම වැටුප් ලබාගැනීමට පෙර දායකයා හදිසි අනතුරක් හේතුවෙන් පූර්ණ හෝ අර්ධ අබලතාවකට පත්වීමක් හෝ මරණයක් සිදුවුවහොත් ජීවිත රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමේ වරප්‍රසාදයද මෙම යෝජනා ක්‍රමයට ඇතුළත්ය.
එසේම, විශ්‍රාම වැටුප් ලබමින් සිටින කාලය තුළ දායකයා මියගියහොත් එම ප්රතිලාභ ඔහුගේ කලත්‍රයාට හිමිවන බවද සඳහන් වෙයි.
තේ කර්මාන්තය ආශ්රිත ශ්‍රමිකයන්ගේ වයෝවෘද්ධ අවධියේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙම රක්ෂණ හා විශ්‍රාම වැටුප් යෝජනා ක්රමයේ ප්‍රධාන අරමුණ බව අදාළ නිලධාරීන් පෙන්වා දෙයි.



