
නීතිවිරෝධී ඖෂධ තොගයක් සමග සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු ඖෂධ තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
අද (07) අලුයම, ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ මෙම ඖෂධ රැගෙන යාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට මෙරටට පැමිණ තිබූ බව අනාවරණය වී ඇත.
සැකකරුවන් රැගෙන ආ ගමන් මලු 08ක් තුළින් එන්නත්, පෙති, කරල් සහ ආලේපන වර්ග ඇතුළත් විශාල ඖෂධ තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම ඖෂධ සම්බන්ධයෙන් රේගුවට නිසි ප්‍රකාශයක් ලබාදී නොතිබූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියෙන් අවශ්‍ය අවසර නොමැතිව මෙරටට රැගෙනවිත් ඇති බවද සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.



