ප්‍රධාන පුවත්

ඔන්ලයින් වංචා ජාලවලට එරෙහිව ශ්‍රී ලංකාව සහ චීනයෙන් දැඩි ක්‍රියාමාර්ග

ඔන්ලයින් සූදු, විදුලි සංදේශ වංචා සහ ඒවාට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර ඒකාබද්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

එම තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, මුදල් හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කර ඇති අතර, දෙරටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර ප්‍රායෝගික සහයෝගිතාව ද වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදුකළ වැටලීම් හා විමර්ශන හරහා නීතිවිරෝධී සූදු සහ වංචා මධ්‍යස්ථාන රැසක් හෙළිදරව් කර සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ. එම පිරිස අතර විවිධ රටවල පුරවැසියන් සිටින අතර, වංචා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ චීන ජාතිකයන් කිහිපදෙනෙකු චීන බලධාරීන් වෙත භාරදී ඇති බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

දේශසීමා ඉක්මවා සිදුකරන සූදු කටයුතු සම්බන්ධයෙන් චීන රජය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, චීන පුරවැසියන්ට විදේශීය කැසිනෝ මෙහෙයවීම හෝ ඒවාට සම්බන්ධ වීම තහනම් බවත් එහි දැක්වේ.

එමෙන්ම මෙවැනි ජාවාරම් මුදල් විශුද්ධිකරණය, මිනිස් ජාවාරම්, පැහැර ගැනීම් සහ නීතිවිරෝධී දේශසීමා තරණය වැනි බරපතළ අපරාධ සඳහා මඟ පාදන බවද අවධාරණය කර ඇත.

සංවිධානාත්මක අපරාධ ජාල නැගෙනහිර සහ අග්නිදිග ආසියානු කලාපවලින් වෙනත් අවදානම් සහිත ප්‍රදේශ වෙත ව්‍යාප්ත වෙමින් පවතින අතර, වංචා මධ්‍යස්ථාන, භූගත බැංකු ජාල සහ නීතිවිරෝධී ඔන්ලයින් වෙළෙඳපොළ අතර සම්බන්ධතා ද වර්ධනය වෙමින් පවතින බව නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී සූදු, ඔන්ලයින් සූදු සහ විදුලි සංදේශ වංචා මැඩලීම සඳහා කඩිනම් සහ දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවත්, එසේ නොවන්නේ නම් රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට, මහජන ආරක්ෂාවට සහ සමාජ ස්ථාවරත්වයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවත් චීන තානාපති කාර්යාලය අවධාරණය කරයි.

දෙරටේ ඒකාබද්ධ ක්‍රියාමාර්ග හරහා මෙම අපරාධ ජාල මර්දනය කිරීම, සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒම සහ ඔවුන්ගේ මූල්‍ය හා සංවිධානමය ව්‍යුහ බිඳ දැමීම මඟින් ජනතාවගේ ජීවිත, දේපළ සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් වඩාත් හොඳින් ආරක්ෂා කළ හැකි වනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button