ප්‍රධාන පුවත්

රුපියලේ පීඩනය කෙටි කාලීනයි – ජනපති

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තුළ ඩොලර් අර්බුදයක් මතුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (20) ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

රුපියලට එල්ල වී ඇති පීඩනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, එය තවත් කෙටි කාලයක් පමණක් පවතිනු ඇති බවය.

එම තත්ත්වයට ශක්තිමත්ව මුහුණදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, මෙවැනි අර්බුදයක් හේතුවෙන් නැවතත් විනාශකාරී ආර්ථික තත්ත්වයක් රට තුළ ඇතිවීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

එමෙන්ම මෙරට ආර්ථික කළමනාකරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති විස්තීර්ණ ණය වැඩසටහනට සම්බන්ධ බැවින්, ඔවුන්ගේ නිර්දේශ අනුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මැදපෙරදිග යුධ තත්ත්වය නිසා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල්, අඩු ආර්ථික හැකියාවන් තියෙන රටවල් යන සෑම රටක්ම භේදයකින් තොරව ආර්ථික අභියෝගයන්ට මුහුණදී තිබෙනවා.

කෙසේ නමුත් ශක්තිමත් ආර්ථික කලමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා. වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙලා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කරලා.

අපේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙවර 29%කින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා.

ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපේ අපනයනවල අඩුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපනයන හරහා ලැබෙන ඩොලර්වල හිඟතාවක් මතුවෙලා.

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එවන මුදල්වල පසුබැසීමත්, ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවීමත් බලපා තිබෙනවා.

ඒ නිසා අපේ රුපියලට තෙරපුමත් ඩොලරයට ඉල්ලුමක් ඇතිව තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් නියමිතව තිබෙනවා.

කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි.

ආනයන භාණ්ඩ පරිහරණය පිළිබඳ මෙන්ම ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටින් එළියට ගලායන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට තනි තනිව මැදිහත්වන ලෙස” යනුවෙන් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button