
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කෙරේ
ඥානසාර හිමි අධිකරණයට අද (04) පොලිසිය විසින් රැගෙනවිත් තිබේ.
බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, අභියාචනාධිකරණය මගින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
තිනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක සිටියදී උන්වහන්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීමට පසුබිම් වී ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව එල්ල වූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකි.
2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ අවසරයකින් තොරව අදහස් දැක්වීම සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් එවක මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල 2018 මැයි 24 වැනිදා ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු බවට තීන්දු කළේය.
ඒ අනුව උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19ක සිර දඬුවමක් නියම කළ අතර, එම දඬුවම වසර 06කින් ගෙවී යන ලෙසට නියෝග කර තිබුණි.
කෙසේවෙතත්, 2019 මැයි 23 වැනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදී තිබුණි.
එම පොදු සමාවට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.
අදාළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදී නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට නියෝග කළේය.
එම තීන්දුවෙන් අනතුරුවද ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එම ඉල්ලීම පසුගිය 29 වැනිදා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීද ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටියේය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කර තිබුණේ ඥානසාර හිමියන් පිත්තාශයේ සැත්කමකට ලක්ව ඇති බැවින් මේ වනවිට විවේක ගනිමින් සිටින බවයි.
කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් කිසිදු වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
ඒ අනුව උන්වහන්සේට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කළ අධිකරණය, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණි.
එම වරෙන්තුව පොලිස්පතිවරයා හරහා ක්‍රියාත්මක කර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබුණි.
ඒ අනුව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.



