ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට නිදහස ඉල්ලා පාගමන අද කොළඹට

ඥානසාර හිමිට නිදහස ඉල්ලා පාගමන අද (15) කොළඹට ළඟාවීමට නියමිතව තිබේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ මෙලෙස අවසන් අදියරට පැමිණ ඇත.

පසුගිය 10 වැනිදා ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ වූ මෙම පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ සහ නිට්ටඹුව යන නගර පසුකරමින් ඊයේ (14) කඩවත නගරයෙන් අවසන් විය. ඒ අනුව අද උදෑසන කඩවත නගරයෙන් යළි ආරම්භ වන පාගමන කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතය.

පාගමනේ අවසන් දිනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දෙරණට අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමි මෙසේ පැවසූහ.

“අද අපේ අවසාන දවස. අපි බලකර කියා සිටිනවා මේ මහා සංඝරත්නය සිව්දිගින් වැඩම කළේ හිස් අතින් යන්න නෙමෙයි. ඒ නිසා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සියලුදෙනාගේ අපේක්ෂාව වෙච්ච ඥානසාර හිමිට නිදහස ලබාදීම සිදුකරන හැටියට අපි ආණ්ඩුවට බලකර සිටිනවා. මෙහෙමත් කියලා ඇහෙන්නේ නැත්නම් අපි වෙන විදියකට හරි තේරෙන විදියට කියන්නත් සුදානම් බව මේ වෙලාවේ ආණ්ඩුවට කියා සිටිනවා.

කොළඹ අපි පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා කියන තැනකට. පැලවත්තට ඕනේ නම් පැලවත්තට, පාර්ලිමේන්තුවට කිව්වොත් පාර්ලිමේන්තුවට එනවා, ජනාධිපති මන්දිරයට කිව්වොත් එතැනට එනවා කියන ඕනෑම තැනකට එන්න අපි සුදානම්. අපි ඒ පණිවුඩය ලැබෙන තුරු බලාගෙන සිටිනවා. එසේ නොවන්නේ නම්, ජනාධිපතිතුමා ඉන්න තැනකට එන්න අපි සුදානම්. අද දවසේ දෙකින් එකක් විසඳාගැනීමට අපි සුදානම්. ආණ්ඩුවට අපි ඒක බලකර කියා සිටිනවා. මෙහෙමත් අවිහිංසාවාදීව කියලත් තේරෙන්නේ නැත්නම් ජනාධිපතිවරයාට තේරෙන විදියට කියන්න අපිට සිද්ධවෙයි.”

මේ අතර, වර්තමානයේ භික්ෂු සමාජය දැඩි තර්ජනයකට මුහුණ දී සිටින බව ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසති.

ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ මෙම පාගමන අද කොළඹට ළඟාවීමත් සමඟ එහි අවසන් අදියර සනිටුහන් වීමට නියමිතය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button