ප්‍රධාන පුවත්

මොරටුව අවන්හල් හිමිකරු ඝාතනයේ තොරතුරු රැසක් හෙළිවෙයි

 

මොරටුව අවන්හල් හිමිකරු ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකු ඉලක්ක කර ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

 

රාත්‍රී 8.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 49 හැවිරිදි ලසන්ත කුමාර නමැති අයෙකි. නාඳුනන වෙඩික්කරුවෙකු ටී-56 වර්ගයේ ගිනිඅවියකින් ඔහුට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරයි. තුවාල ලැබූ අවන්හල් හිමිකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ. එම අවස්ථාවේ ආහාර ලබාගැනීම සඳහා අවන්හලට පැමිණ සිටි කාන්තාවක් ද වෙඩි වැදී තුවාල ලබා ඇත.

 

වෙඩි තැබීමෙන් පසු සැකකරු පැමිණි මෝටර් රථයෙන් පලාගොස් ඇති අතර, පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේදී එම රථයේ කාර්මික දෝෂයක් හටගෙන තිබේ. එහිදී රථයෙන් බැසගත් වෙඩික්කරු අහසට වෙඩි තබා යතුරුපැදිකරුවෙකු බිය ගන්වා ඔහුගේ යතුරුපැදිය පැහැරගෙන රියැදුරා සමඟ පලාගොස් ඇති බව වාර්තා වේ.

 

පොලිසිය පවසන පරිදි, මියගිය අවන්හල් හිමිකරුට මීට පෙර ද අපරාධ කල්ලියකින් මරණ තර්ජන එල්ල වී තිබේ. එමෙන්ම, මෙම අවන්හල 2020 මැයි 19 වැනිදා නාඳුනන පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව ඇති අතර, දින නවයකට පසු එනම් මැයි 29 වැනිදා ද එයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

 

එම පැරණි සිදුවීම් සම්බන්ධයෙන් ඩුබායිහි ආරක්ෂක අංශ භාරයේ සිටින ඇල්ටෝ ධර්මේ සහ ප්‍රංශයේ සැඟව සිටි කුඩු අංජුගේ පාර්ශ්වය වෙත චෝදනා එල්ල වී තිබුණද, මෙවර ඝාතනය සිදුකළේ කුමන පාර්ශ්වයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

 

සැකකරුවන් පලායාම සඳහා භාවිත කළ යතුරුපැදිය කෝට්ටාව, සිද්ධමුල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button