ප්‍රධාන පුවත්

ආදිවාසීන්ගේ පාරම්පරික ඉඩම් යළි ලබාදීමට මහවැලි අධිකාරිය එකඟ වෙයි

රඹකැන්ඔය සහ පොල්ලබැද්ද ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවගේ පාරම්පරික ඉඩම් නැවත ඔවුන් වෙත පවරා දීමට පියවර ගන්නා බව මහවැලි අධිකාරිය අද (26) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

වැදි නායක ඌරු වර්ගයේ වන්නියලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් විය.

2021 වසරේ ගොනුකර තිබූ එම පෙත්සම මඟින් අභියෝගයට ලක් කර තිබුණේ, පොල්ලබැද්ද සහ රඹකැන්ඔය ප්‍රදේශවල ආදිවාසී ජනතාවට අයත් පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබූ තීරණයයි.

අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී, අදාළ ඉඩම් යළි ආදිවාසී ජනතාව වෙත ලබාදීම සඳහා කටයුතු කරන බව වගඋත්තරකාර පාර්ශ්වය අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අතර, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, විනාශයට පත් කළ වනාන්තර ප්‍රදේශවල නැවත වන වගා සිදු කරන ලෙසත් පෙත්සම මඟින් ඉල්ලා ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 25 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button