
කමේනිගෙන් ඇමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්
ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ප්‍රකාශ කර ඇත්තේ, මැදපෙරදිග කලාපීය රටවල් තවදුරටත් අමෙරිකානු හමුදා කඳවුරු සඳහා ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා නොකරන බවයි.
හජ් උත්සවය නිමිත්තෙන් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිකුත් කළ ලිඛිත පණිවුඩයකින් ඔහු සඳහන් කර ඇත්තේ, “කාලය ආපස්සට හැරවිය නොහැකි අතර, කලාපයේ භූමිය සහ ජනතාව ඇමෙරිකානු හමුදා සඳහා ආරක්ෂිත රැකවරණයක් නොවනු ඇත” යනුවෙනි.
එමෙන්ම, කලාපය තුළ අමෙරිකාවේ බලපෑම දිනෙන් දින දුර්වල වෙමින් පවතින බවද කමේනි පෙන්වා දී තිබේ.
මේ අතර, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කර ඇත්තේ, ඉරාන ගුවන් සීමාවට ඇතුළු වූ අමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළූ බවයි.
තවත් වර්ධනයක් ලෙස, කලාපයේ පවතින අස්ථාවර සටන් විරාමය ගරු කරන ලෙස චීනය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning ප්‍රකාශ කළේ, සාමකාමී ආකාරයෙන් ගැටලු විසඳා කලාපයේ ස්ථාවරත්වය යළි ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි.
එසේම, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇත්තේ, ඉරානය සමඟ ඇති කර ගැනීමට නියමිත ගිවිසුමකට අදාළ සාකච්ඡා අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බවයි.
ඔහුට අනුව, දකුණු ඉරානයේ මිසයිල ප්‍රහාර මධ්‍යස්ථාන සහ මුහුදු පතුළේ බෝම්බ තැබීමට උත්සාහ කළ බෝට්ටු ඉලක්ක කර අමෙරිකානු හමුදා “ආරක්ෂක ප්‍රහාර” ක්‍රියාත්මක කර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය සෑම අවස්ථාවකම විවෘතව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
අප්‍රේල් මුල සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ, ඉරාන හමුදා වෙතින් එල්ලවන තර්ජනවලට ප්‍රතිචාර ලෙස නව ප්‍රහාර සිදු කළ බවයි.
මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ, ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානයට එරෙහි මෙහෙයුම් තවදුරටත් තීව්ර කරන බවයි.
ඒ අනුව, ඊශ්‍රායල ආරක්ෂක හමුදා ලෙබනනයේ බෙකා නිම්නය ඇතුළු ප්‍රදේශ කිහිපයක හිස්බුල්ලා සංවිධානයට අයත් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව නිවේදනය කර තිබේ.
ඊශ්‍රායලය සහ ලෙබනනය අප්‍රේල් මාසයේදී සටන් විරාමයකට එකඟ වී තිබුණද, එම ගිවිසුමේ හිස්බුල්ලා සංවිධානය පාර්ශවකරුවෙකු නොවන බැවින් ස්වයං ආරක්ෂාව සඳහා ප්‍රහාර දිගටම ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායලය පවසයි.



