
ඩුබායි සිට පිටුවහල් කළ 21 දෙනා ගැන හෙළි වූ අලුත් තොරතුරු
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ඊයේ (22) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුවන් 21 දෙනා සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම පිරිස අතර ශ්‍රී ලංකා පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන “මහවත්තේ චාමර” සහ “වනාතේ කුඩු දුමින්ද” ද සිටින බව සඳහන්ය.
පොලීසිය පවසන්නේ, ඩුබායිහි පැවැති සාදයක් අතරතුරදී ඔවුන් දෙදෙනා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අතරින් “කුඩු දුමින්ද” 2025 අගෝස්තු 8 වනදා බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය මෙහෙයවූ පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
එමෙන්ම “කුඩු දුමින්ද” සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් පස්දෙනෙකුද පිටුවහල් කළ පිරිස අතර සිටින බව සඳහන් වේ.
අනෙක් පසින් “මහවත්තේ චාමර” වැඩිදුර පරීක්ෂණ සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති බවද වාර්තා වෙයි.
පොලීසිය අනාවරණය කළේ, සෙසු සැකකරුවන්ගෙන් බහුතරයක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවල වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියකට අදාළව බවයි.
ඔවුන් සතුව තිබූ මුදල්, රන් භාණ්ඩ සහ අනෙකුත් වටිනා දේපළ ඩුබායි ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, පසුව ඔවුන් පැළඳ සිටි ඇඳුම් සහ ගුවන් ගමන් බලපත්‍ර පමණක් ලබාදී ශ්‍රී ලංකාවට එවා ඇති බවද පොලීසිය සඳහන් කළේය.
මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින අතර, ඔවුන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත ඊයේ (23) පස්වරුවේ භාරදී තිබේ.



