
ජනාධිපතිතුමාගේ මහා ශිව රාත්‍රී ශුභාශිංසන පණිවිඩය
දිට්වා සුළි කුණාටුවෙන් රටට සිදුවූ විනාශයෙන් අනතුරුව තිර අදිටනින් සහ සැලසුම් සහගත ක්‍රියාමාර්ග හරහා නැවත නැගී සිටීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දේශපාලන, ආර්ථික සහ සමාජීය ක්ෂේත්රයන්හි නව පරිවර්තනයක් සමඟ රට නව පුනරුද යුගයක් කරා ගමන් කරමින් සිටින බවද ඔහු අවධාරණය කර ඇත.
මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන් නිකුත් කළ ශුභාශිංසන පණිවිඩයකින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. මහා ශිව රාත්‍රීයේ දැල්වෙන පහන් ආලෝකය හදවත් එකලස් කරමින්, රට තෝරා ගත් ප්රගතිමත් ගමන් මඟ තවදුරටත් පැහැදිලි කර ගනිමින් ඒ සඳහා එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ට ආරාධනා කරන බවද එම පණිවිඩයේ සඳහන් වේ.
ජනාධිපතිවරයා නිකුත් කළ සම්පූර්ණ ශුභ පැතුම් පණිවිඩය පහතින් දැක්වේ.
මෝහන්ධකාරය දුරු වී ප්රඥාලෝකය දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් ලෝකවාසී හින්දු ජනතාව මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.
ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රී දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙමඟින් සිහිපත් කෙරේ. එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහන්ධකාරය ජය ගැනීම” සංකේතවත් කරයි.
සියලු මානව බැඳීම්වලට ගරු කරන විනයගරුක සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමේදී මෙවැනි ආගමික හා සංස්කෘතික අවස්ථා ඉතා වැදගත් බව මම තරයේ විශ්වාස කරමි. මමත්වය දුරු කරමින් සිත් සතන් තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ජනිත කරවන මහා ශිව රාත්‍රී ආගමික වත්පිළිවෙත් අවංකභාවය, ත්‍යාගශීලිභාවය සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංග අනුව ජීවත්වීමට අපිට ආරාධනා කරයි.
එමෙන්ම, මහා ශිව රාත්‍රියේ ආධ්‍යාත්මික පණිවිඩය එකිනෙකා අතර සාමුහික බව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් ලෙසද මම දකිමි.
මෑත කාලීන දරුණුතම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීමෙන් පසුව, ඒ හමුවේ තිර අදිටනින් සහ සැලසුම් සහගතව නැඟී සිටීමින් දේශපාලන, ආර්ථික සහ සමාජයීය නව පරිවර්තනයක් සමඟ නව පුනරුද යුගයක් කරා අපි මේ වන විට ගමන් කරමින් සිටින්නෙමු. මහා ශිව රාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කරමින් අප තෝරා ගත් එ’මඟ වඩ වඩාත් හෙළි කර ගැනීමට එක්වන ලෙස මම සියලු දෙනාට ආරාධනා කරමි.
මහා ශිව රාත්‍රී දිනය සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ඇතුළු ලෝකවාසී හින්දු ජනතාවගේ යහපත් අභිමතාර්ථ සඵල වන අර්ථවත් මහා ශිව රාත්‍රී දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.



