ප්‍රධාන පුවත්

ඝාතන 5ක්: පිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව CIDයෙන් වාර්තාවක්

2008 වසරේ නැගෙනහිර පළාතේ සිදුවූ පුද්ගල ඝාතන පහක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

CIDය සඳහන් කර ඇති පරිදි, T-56 ගිනිඅවි භාවිත කරමින් 2008 ජනවාරි, මැයි සහ අගෝස්තු මාසවලදී මඩකලපුව හා අවට ප්‍රදේශ කිහිපයක සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධි සම්බන්ධයෙන් නම් කර ඇති පළමු සැකකරු විමර්ශන ආරම්භ වන අවස්ථාවේදී විදේශගතව සිටි බවට තොරතුරු ලැබී ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කර තිබේ.

එම සැකකරුවන් දෙදෙනා අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර, මෙම ඝාතන පහට අදාළ තුන්වන සැකකරු ලෙස නම් කර ඇත්තේ පිල්ලෙයාන්ය. ඔහු මේ වනවිට මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාගේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටී.

නඩුව යළි කැඳවන දිනයේදී පිල්ලෙයාන් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇති අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන CIDය විසින් ක්‍රියාත්මක කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button