උණුසුම් පුවත්

ක්‍රිෂ් ගනුදෙනුව ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

ක්‍රිෂ් ගනුදෙනුව ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

ක්‍රිෂ් සමාගම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ක්‍රිෂ් සමාගම වෙත ලබාගැනීම සහ ඊට අදාළ අනුමැතීන් කඩිනම් කරගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් අවස්ථා තුනකදී එම මුදල ලබාදී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

මෙම සිද්ධියට අදාළව ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය පසුගිය 24 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසමට අවසර ලබා දී තිබිණි.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අද පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් නාමල් රාජපක්ෂ මහතාගෙන් අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button