ප්‍රධාන පුවත්

මත්ස්‍ය අස්වැන්න පහළට – ධීවර කර්මාන්තයට අවදානමක්

මත්ස්‍ය අස්වැන්න අඩුවීමෙන් ධීවර කර්මාන්තයට බලපෑම්


ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) පවසයි.
නාරා ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්ත්වයක් නොවන අතර ලොව රටවල් රැසක සාගර පද්ධතීන්ට බලපා ඇති පොදු අවදානමක් බවයි.
මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොවන අතර, 2014 වසරේ සිටම ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය අස්වැන්න පහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.


මත්ස්‍ය අස්වැන්න අඩුවීමට එක් නිශ්චිත හේතුවක් බලපා නොමැති අතර, සාගර ජෛව පද්ධතියේ සිදුවන වෙනස්කම් ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.


එල් නිනෝ තත්ත්වයේ බලපෑමක් මේ සඳහා පවතීද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර, එමඟින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල වී ඇති බවද තහවුරු වී නොමැත.


මත්ස්‍ය අස්වැන්න පහළ යාමෙන් ධීවර ජනතාවට තර්ජනයක්
මෙම තත්ත්වය දීර්ඝ කාලීනව වර්ධනය වුවහොත් ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් වෙනත් රැකියා අවස්ථා වෙත යොමු කිරීමට අවධානය යොමුව ඇති බව නාරා ආයතනය පවසයි.
මත්ස්‍ය වගාව පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති නමුත්, එහි මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පවසන්නේ ධීවර කටයුතුවලදී තහනම් දැල් සහ විනාශකාරී ආම්පන්න භාවිතයට එරෙහි නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීමද මත්ස්‍ය අස්වැන්න ක්ෂය වීමට බලපාන ප්‍රධාන හේතුවක් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button