
ගාල්ල, මහනුවර සහ යාපනයටත් මෙට්‍රො බස් සේවාව
ගාල්ල, මහනුවර සහ යාපනයටත් මෙට්‍රො බස්
බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්තිය
මෙට්‍රො බස් සේවාව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙතද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඒ අනුව ගාල්ල, මහනුවර සහ යාපනය යන ප්රදේශවලටද මෙට්‍රො බස් සේවාව හඳුන්වාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළට
අද (07) කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ මාසය අවසන් වීමට පෙර මෙට්‍රො බස් සේවාවට අයත් බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ.
තවත් බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව මෙම වසර අවසන් වන විට හෝ ලබන වසරේ මුල් භාගය වනවිට සමස්ත බස් රථ සංඛ්‍යාව 172ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.
පෞද්ගලික අංශයටත් අවස්ථාව
මෙට්‍රො ආයතනය සමඟ ගිවිසුම්ගතව බස් සේවා පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී පෞද්ගලික අංශයටද අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නාගරික පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙට්‍රො බස් සේවාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අදාළ ආයතන කිහිපයක් ඒකාබද්ධව සිදුකරයි.
නව ඩිපෝ 04ක් ඉදිකිරීමට සැලසුම්
එම වැඩපිළිවෙළ යටතේ ඉදිකළ කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙට්‍රො ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පළමු ඩිපෝ අංගනය පසුගිය 04 වැනිදා බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේදී ජනතා අයිතියට පත්කර තිබුණි.
පරිපාලන, මෙහෙයුම් සහ නඩත්තු කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් පළමු අදියර යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් නව ඩිපෝ 04ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මාකුඹුර සිට කඩවත දක්වා සේවාව
දැනට මෙට්‍රො බස් සේවාව මාර්ග අංක 01 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා ක්‍රියාත්මක වන අතර, එම මාර්ගයට නව මෙට්‍රො බස් රථ 15ක් එක්කර ඇත.
බස් නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් පද්ධති, ඩිපෝ සහ රථගාල් ඇතුළු පහසුකම් අනෙකුත් ප්‍රවාහන සේවා සමඟ සම්බන්ධ කිරීම සහ වැඩිදියුණු කිරීමද සැලසුම් කර තිබේ.
ලංගමට නව බස් රථ 800ක්
මේ අතර පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මෙම වසර අවසන් වනවිට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල් යොදා තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



