
ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ නීතිඥවරිය ව්‍යාජ ලේඛන මත විවෘත කළ බැංකු ගිණුම් 08ක් ගැන CID විමර්ශන
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන භාවිත කර ආරම්භ කළ බවට සැකකෙරෙන බැංකු ගිණුම් 08ක් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.
මෙම කරුණු ඉදිරිපත් කෙරුණේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේ, නීතිඥවරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අතරතුර එම බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි. වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම ගිණුම් විවෘත කර ඇති බවට සැක පවතින බවය.
එම ගිණුම් හරහා විශාල මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවත් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා, අදාළ බැංකු ගිණුම් සම්බන්ධ විමර්ශන කඩිනමින් සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.



